කාඩිෆ් පිටියට කඩාවැදුණු දෙමළ කොටියාට රතු නිවේදනයක්
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දු - ශ‍්‍රී ලංකා දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වූ 20 වනදා, කාඩිෆ් හි සොෆියා ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේ අදාල තරගය අතරතුර පිටියට කඩාවැදුණු එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු වන යෝගේෂ්වරන් මනිවරන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් සමග අන්තර්ජාතික වරෙන්තුවක් අද (03) නිකුත් කර තිබේ.
කොළඹ මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුවය.
මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊයට සංවිධානය සමග සබඳතා පැවැත් වූ වැල්වැටිතුරෙයි පදිංචිව සිටි අයෙකු බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
මොහු කොළඹ පෞද්ගලික බැංකුවකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පත් යොදාගනිමින් රුපියල් මිලියන 33ක් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි තොරතුරු හෙළිව තිබෙන බවද පොලිසිය කියයි.
කාඩිෆ් පිටියේ විරෝධතාව සිදුකරන අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු හඳුනාගෙන තිබේ.
ඔහුගේ අතේ කොටා තිබූ පච්චයක් ද එම හඳුනා ගැනීමට ඉවහල් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පුද්ගලයා එංගලන්තයට ගොස් ඇති ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි වී නොමැති අතර, සැකකරු සම්බන්ධයෙන් මීට ඉහතද ජාත්‍යන්තර පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කර තිබේ.

0 comments:
Post a Comment